Thursday, January 31, 2013

‘තෝ කාටද එහෙම කිවුවෙ’ ජෝෂප් මයිකල්ගෙන් ඇසූ දයාසිරිට වැඩ වරදී




එක්සත් ජාතික පක්ෂ උප නායක ජෝශප් මයිකල් පෙරේරා මහතාට බැණ වැදී පහරදීමට තැත්කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතාට එරෙහිව පරීක්‍ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂයේ නීති ලේකම් දයා පැල්පොල මහතාට නියෝග කර ඇත.

‘‘සිරිකොත’’ එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී සිදුවූ බවට පක්‍ෂ නායකත්වයට පැමිණිලි කර තිබෙන ඉහත සිද්ධිය පක්‍ෂයට කැළලක් ගෙනදුන් අශෝභන කි‍්‍රයාවක් බවට එය සියසින් දුටු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසක් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට කරුණු දක්වා තිබේ.
ඉහත සිද්ධිය ඇතිවූයේ වයඹ පළාත් මැතිවරණ මෙහෙයුම් කමිටුව ඉකුත් සඳුදා (29) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදීය. ගල්ගමුව ආසන සංවිධායක පත්කිරීම සම්බන්ධයෙන් මතුවූ සිද්ධිය දුරදිග යෑමෙන් මෙම බැණවැදීම සහ පහරදීමට තැත් කිරීම සිදුවූ බව පක්‍ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. රැස්වීමේදී ජෝසප් මයිකල් පෙරේරා විහිළුවෙන් මෙන් පවසා ඇත්තේ ‘මේකත් එදා වගේ පිටට දෙන්න එපා’ යනුවෙනි. මෙය කණ වැකුණු සැනින් දැඩි ලෙස කෝපයට පත් වූ දයාසිරි ජෝසප් මයිකල් පෙරේරාගේ කමිසයෙන් ඇදි ‘තෝ කාටද එහෙම කිව්වේ’ යැයි පවසමින් පහර දෙන්නට කිහිප වරක් උත්සහ කර ඇත. නමුත් සෙසු මන්ත‍්‍රීවරු පිරිස වහා දයාසිරි පසෙකට ඇද තත්ත්වය පාලනය කර තිබිනි.
සිද්ධිය සම්බන්ධයෙන් එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් පක්‍ෂ නායකත්වයට වාර්තාවක් ඊට පසුදිනම දෙන ලදි. ඒ මත පදනම්ව දයාසිරි ජයසේකර මහතාට එරෙහිව පරීක්‍ෂණයක් කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා නීති ලේකම්ට උපදෙස් දී තිබින.

0 comments:

Post a Comment